හැව්ලොක් නිවාස සංකීරණයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ලබන (23) දින දක්වා වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රඳවා තබා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා අද (21) නියෝග කළා.
මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර්, වැල්ලවත්ත ලිපිනයේ පදිංචි විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්‍යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට ලද 119 පණිවිඩයට අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ නිකල් පැහැති T56 වර්ගයේ ගිණි අවිය නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් භාරයේ තිබියදී අත්අඩංගුවට ගත්තා.
එම ආරක්ෂක නිලධාරීන් විසින් කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවිය සොයාගත් බවට ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රකාශයක්ද පොලිසියට ලබා දී තිබෙනවා.
ඒ බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය වෙනුවෙන් උප පොලිස් පරික්ෂක වාසලතන්ත්‍රී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.
මේ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනයන්ගෙන් අනතුරුව අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් මෙම ගිනි අවියේ අයිතිකරුවන් කවුරුන්දැයි විමර්ශන සිදු කිරීමට නියමිත බවත් වැල්වත්ත පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියා.
ඒ අනුවයි සැකකාර කාන්තාවන් දෙදෙනා ලබන 23 වැනිදා දක්වා වැල්ලවත්ත පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
0 Comments