නිකලස් පූරාන් සමු ගන්නේ ඇයි?
"බොහොම අසීරු කල්පනා කිරීම් රාශියකින් පස්සේ, මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළා. කොදෙව් කණ්ඩායම මට සතුට, අමතක නොවන මතක රැසක් ලබා දුන්නා."
"මැරූන් පාට ජර්සියෙන් සැරසීමත්, කොදෙව් ගීතයට සිටගැනීමත්, මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමත් කියන හැඟීම මට වචන වලට පෙරලන්න පවා අමාරුයි."
"ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම අමාරු තීරණයක්. බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් සමග මට තිබෙන ආලය කවදාවත් නිමා වෙන්නෙ නෑ. මම ඔවුන්ට සාර්ථකත්වය සහ ශක්තිය ප්‍රාර්ථනා කරනවා"
අද උදෑසන බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් ක්‍රීඩක නිකලස් පූරාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තමන් සමුදෙන බවට ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබන්නේ ක්‍රිකට් ලෝකයම කැළඹූ පුවතක් වාර්තා කරමින්. තවමත් 29 හැවිරිදි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම සැබැවින්ම විමතියක්.
පූරාන්ගේ සමු ගැනීම මට මතක් කළේ මෑත කාලීනව සිදු වූ සමු ගැනීම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට ක්‍රීඩකයන් ගත් තීරණයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රම ක්‍රමයෙන් ඇල්මැරුණ මියයන තැනට ගමන් කරනවා නේද කියන පැනය හිත ඇතුළට ආවෙත් මේ නිසාමයි.
ක්‍රිකට් ක්‍රීඩාව කවදාටවත් වඩා දැන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වශයෙන්. හැබැයි මේ ප්‍රධාන කොටස් දෙකේ ගෙවීම් කියන කාරණය ගත්තම අහසට පොළොව වගේ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විතරක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වසර 5 කට වගේ ලබාගන්නා අදායම එක අයි පී එල් තරගාවලියකින් උපයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර පිටියේ ලබා ගන්නා ආදායම වගේ 10 ගුණයක් වත් වසරකට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහලා හොයන්න පුළුවන්. (අයි පී එල් නැති වුණත්)
මේ හේතුව ප්‍රධාන කරගෙන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ වැඩිම ඉල්ලුම තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නික්ම යන ආකාරය පහුගිය කාල වකවානුවේදී අපිට හොඳටම දකින්න ලැබුණා.
තවත් වසර 2 ක් 3 ක් පහසුවෙන්ම දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න පුළුවන්කම තිබුණත් හයින්රිච් ක්ලාසන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. අවුරුදු 30 න් පස්සේ ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2024 පන්දුවාර 20 ලෝක කුසලානය විතරයි.
ඔහු එක්දින පිටියට සමු දෙන්නේ 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ හොඳම පීක් එකේ ඉන්න වෙලාවක. 2023 ක්‍රිකට් ලෝක කුසලානය බලපු අය දන්නවා ක්වින්ටන් ඩි කොක් තරගාවලියේ ක්‍රීඩා කළේ කොහොමද කියලා.
නවසීලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් වාර්ෂික නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාතුව දැන් වසර කිහිපයක ඉඳලා අත්සන් කරන්නේ නෑ. එයට ප්‍රධාන හේතුව තමන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහන එක බව ඔහු කෙලින්ම කියනවා. ඔහු 2022 න් පස්සේ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා නෑ.
සීමිත පන්දුවාර පිටියෙත් 2023 සහ 2024 ලෝක කුසලාන පමණයි ඔහු ක්‍රීඩා කළේ. නවසීලන්තය ක්‍රීඩා කරන අනිත් තරග එකක්වත් ට්‍රෙන්ට් බෝල්ට් ට අදාල වෙන්නෙම නෑ.
ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීම සහ ක්‍රීඩකයන්ට දක්ෂතාවයට සරිලන විදිහට වැඩි ආදායමක් ලැබීම කියන කාරණය ඇත්තටම හොඳයි. පෞද්ගලිකව මම ඒකට කැමතියි. හැබැයි මේ විදිහට ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් නික්ම යාම ක්‍රීඩාවට ගේන්නේ විශාල අසාධාරණයක්.
මොකද ක්‍රිකට් කියන්නේ ජාත්‍යන්තර තරග මූලික කරගත්ත ක්‍රීඩාවක්. මේ ක්‍රීඩකයන්ව නිර්මාණය කරන්නේ ෆ්‍රැන්චයිස් කණ්ඩායමකින් නෙමෙයි. අදාල රටේ පහසුකම් වලින්.
පාපන්දු ක්‍රීඩාව ගත්තොත් එතන ක්‍රීඩකයන්ව නිර්මාණය වෙන්නේ රටෙන් නෙමෙයි ක්‍රීඩා සමාජයෙන්. ඒ හින්දා ක්‍රීඩකයෙක්ව අයිති වෙන්නේ ක්‍රීඩා සමාජයට. ඒ පාපන්දු එදා ඉඳන් හැදිලා තියෙන විදිහ. හැබැයි ක්‍රිකට් එදා ඉඳන් හැදිලා තිබුණේ අදටත් ක්‍රීඩකයන් හැදුනේ ෆ්‍රැන්චයිස් වලින් නෙමෙයි අදාල රටේ සම්පත් වලින්.
උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ බිහි වෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් රජයේ පාසල් පද්ධතිය හරහා බිහි වෙනවා මිසක් ජැෆ්නා කිංග්ස් ලා ක්‍රීඩකයෝ හදන්නෙ නෑ නේ!
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් විතරක් ගහන්න ඉදිරියේදී ක්‍රීඩකයන් ගොඩක් බිහිවෙයි. ඉල්ලුම වැඩි වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පැත්තක තියලා තරුණ වයසෙදිම ක්‍රීඩකයන් ෆ්‍රැන්චයිස් පිටියේ ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්‍රිකට් ගහන්න යයි.
මෙතනින් නැති වෙන්නේ ක්‍රිකට් කියන ගේම් එකේ Spirit එක. ඉස්සර ජාතික කණ්ඩායමේ හිස්වැස්ම පැළඳීම, ජාතික කණ්ඩායමේ ජර්සියෙන් සැරසීම කියන්නේ ක්‍රීඩකයෙක්ට හීනයක්. ඔවුන් ඒ හීනයට මාර විදිහට ආදරය කළා. ඒ හීනය වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වුණා. ඔවුන් ඒ හීනයේම ජීවත් වුණා.
අද ක්‍රිකට් කියන්නේ නිකම් මුදලට බාල්දු වෙන ක්‍රීඩාවක් බවට පත් වෙන්න පටන් අරන් ඉවරයි. හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණොත්, ෆ්‍රැන්චයිස් නියාමනය නොවුණොත් ක්‍රිකට් ක්‍රීඩාවේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්.
0 Comments